• Premakshara - ප්‍රේමාක්ෂර

සවස වැඩ ඇරී ගෙදර විත් වාහනයෙන් බසිද්දී වහා ඉදිරියට දිව ගොස් බාහුවේ එල්ලී පපුතුරට මුහුණ ඔබාගෙන දහදිය සුවඳ විඳින්නට මට තිබූ අයිතිය ඔබ උදුරා දැමුවෙහිය. එවැනි මොහොතක කෙලින් මුහුණ බලා ඔබේ දෑස් කියවන්නට මට තිබූ නිදහස ඔබ අහෝසි කළෙහිය. ඉතින් තවදුරටත් එක වහලක් යට පවත්වාගෙන යන ආත්ම වංචාව නඩත්තු කළ යුතු නැතැයි මම අදහස් කළෙමි. අප ප්‍රේමයෙන් විසූ දවස්, බිණූ සැනසිලි වදන්, දිවිය පුරා ගලා ගිය සංතුෂ්ටියේ ශෘංගාරය ජීවිතයෙන් අහෝසි වී ගිය බව දැනෙන විට, සිතට දැනෙන පීඩාව තව දුරටත් දරාගත නොහැකිය.
මේ මොහොත වන විට මා පැමිණ සිටින්නේ මගේ දෛවය වෙතය. මා දැන් අතහැර යා යුතු යැයි තීරණය කරන්නේ ඒ දෛවය විසිනි. එහෙත් ස්මෘතියේ චිතකයට ගිනි දැල්වීම පහසු කරුණක් නොවේ. මගේ ජීවිතයේ හාත්පස ඇත්තේ ඔබ පිළිබඳ ස්මරණයන්ය. ඔබෙන් තොර ලෝකයක් මම නොදනිමි. මින් මතු ද මා දකින හැම සිහිනයකම ඔබ හිඳීවි. හිත පිස්සු වට්ටන අතීත සැමරුම් මා මරා දමමින් සිටී.
විවාහයෙන් කෙටි කලකට පසු මට අහිමි වන්නේ මගේ පණ වැනි යැයි සිතූ ඒ පෙම්වතාය. ඔබ මට කා සමඟවත් බෙදා ගත නොහැකිය.
ඒ අමිහිරි සිදුවීමෙන් පසු ඔබ නිදහසට යමක් කියන්නට තතනන අයුරු මා නොදුටුවා නොවේ. එහෙත් ඒ වන විට මා සිටියේ මේ භයානක අවසානය සම්බන්ධ භීතියෙන් මුසපත්ව සවන්දීමේ ශක්තිය අහිමි කරගෙනය. මොනවා සිදු වුවත් අතහැර දමන්නට මම ලෝභ වීමි.
ප්‍රේමය හැමවිටම ජීවිතයට වඩා විශාල බව අපි දෙදෙනාම විශ්වාස කළෙමු. ඒ විශාලත්වය ඇතුළේ අපි දෙදෙනා විසින්ම නිර්මාණය කරගත් අපේ ප්‍රේමයේ හැඩතලය ඔබ විසින්ම බිඳ දැමීම නිසා මා මේ අහිමි කර ගනිමින් සිටින්නේ මගේ ජීවත් වීමේ සතුටයි. ආත්ම ගණනාවක් වයස යැයි මා සිතූ ඒ ප්‍රේම සබඳතාව මායා බන්ධනයකි. එය බිඳී ගිය බව තේරුම් ගත් විට මා තුළ ඇති වූ ශෝක වේදනාව , කළකිරීම හා කනස්සල්ල දරා ගැනීම සඳහා මට තෝරා ගැනීමට වෙනත් මගක් නොතිබුණි.
‘ විප්පයෝගයේ නිමේෂය එළැඹෙන තෙක්ම ප්‍රේමය ස්වකීය බන්ධනයේ ගැඹුර වටහා නොගනී. ’
මටද මේ මොහොතේ ඒ ගැඹුර සැබෑවටම දැනෙයි. එහෙත් මා යා යුතුය. රැඳී සිටීම වේදනාවකි. මා මේ ගමන යන්නේ සතුටින් නොවේ. හුදෙකලාවද නොවේ. මා සතු එකම වත්කම ඔබ කෙරෙහි උපදවා ගත් ප්‍රේමයද ඒ සමඟ රැගෙන යමි. මට එය අන්සතු කළ නොහැකි වස්තුවකි.
ඒ අවසන් රාත්‍රියේ ඔබ මට කියන්නට තැතනූ , මා නොඇසූ ඒ කතාව ඇත්ත නම්, යම් මොහොතක ඔබට මා සිටින තැන දැනෙනු ඇත.......

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha